බෝසත් පාඩම් නායකයකු වන හැටි
සැබෑ නායකයා තුළ පරිත්‍යාගශීලී බවක් දක්නට ලැබේ. එය
වස්තුව සහ තනතුරු පරිත්‍යාගයක් පමණක් නො වේ. තම පිරිසේ යහපත තකා ජීවිත පරිත්‍යාගය
වුව ද සිදු කැරෙයි.
සෝමවීර
සේනානායක
මෙසමයෙහි
නායකත්ව වචනය භාවිත වෙයි. ගහක් ගලක් ගානේ ද නායකයෝ සිටිති. දේශපාලනයේ නම් නායකයෝ
අපමණ ය. ආගමික ක්ෂේත්‍රයේ ද බොහෝ නායකයෝ සිටිති. සමාජ නායකත්වය සඳහා පියමං කරන්නෝ
ද විවිධ සේවාවල යෙදෙමින් එම ගමනේ යති. සියලු වයස් තරාතිරමක ම නායකත්වයක් පවතී.
පාසල්
සහ අධ්‍යාපන ආයතන තුළ ශිෂ්‍ය නායක-නායිකාවෝ සිටිති. සේවා ස්ථාන තුළ වෘත්තීය සංගම්
නායකයෝ සිටිති. බල අරගලයේ යෙදෙන ත්‍රස්ත කණ්ඩායම්වල ද නායකයෝ සිටිති. මෙපරිද්දෙන්
බලන විට වර්තමානයේ නායක සංඛ්‍යාව අතිමහත් ය. මෙලෙස ක්‍රියා කරන සියලු දෙනා සැබවින්
ම නායකයෝ ද?
සැබෑ
නායකත්වයේ ගති-සොබා කවරේ ද?
බෝසතාණෝ
සැබෑ නායකත්වය පිළිබඳ ව අපට මඟපෙන්වීමක යෙදෙති.
*
උට්ඨාන
වීර්යයෙන් යුත් නායකත්වය
අපි
එදිනෙදා ජීවිතයේදී විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටිමු. මෙම ගැටලු ඉදිරියේ වැඩි
දෙනෙක් අසරණ වෙති;
හඬති; වැලපෙති; දිවි
නසාගනිති. බෝසතාණන් අපට කියනුයේ ගැටලු ඇති වූ විට උත්සාහයෙන් ද වීර්යයෙන් ද යුතු ව
කටයුතු කොට ජය ගත යුතු බව යි. තමන් නායකයකු නම් තම පිරිසට ද ජයග්‍රහණය අත් කොට දිය
යුතු බව යි. වැලි කතරක අතරමං වූ විට පමණක් නොව, ජන සමාජය තුළ අතරමං වූ
විට ද සැබෑ නායකත්වය උත්සාහයෙන් ධෛර්යයෙන් යුතු ව ගැටලු විසඳාගත යුතු වෙයි. මෙම
මඟපෙන්වීමට එක් නිදසුනක් වනුයේ වණ්ණුපථ ජාතකය යි.
බෝසතණෝ
පෙර කසීරට බරණැස් නුවර වෙළෙඳ නායකයකු ව ගැල් පන්සීයක් යොදවා වෙළෙඳාමේ යෙදෙති. එක්
ගමනකදී වෙළෙඳාම නිමවා ආපසු එමින් සිටියදී මහා වැලි කතරකට පිවිසෙති. අධික උෂ්ණය
නිසා වැලිකතරෙහි දහවල් ගමනක් නැති. එබැවින් නැවතී සිට රාත්‍රියේ ගමන් ඇරඹෙයි.
බෝසතාණෝ ගැලෙහි හිඳ අහසේ තාරකා මග සලකුණු ලෙස ගෙන ගමනේ යෙදෙයි. පන්සියයක් ගැල්වල
නැඟුණු පිරිස බෝසතාණන්ගේ ගැල පසුපස යති. වෙහෙස නිසා බෝසතාණන්ට නින්ද යයි. ගොන්නු
ආපසු පෙර සිටි තැනට ම පැමිණෙති. කාන්තාරය තරණය කිරීම වෙනුවට යළිත් පැමිණ ඇත්තේ පෙර
සිටි තැනට ම ය. එක් රැයෙන් ගම් බලා යා හැකි ව තිබූ බැවින් ගැල්වල ආහාර ද ජලය ද
ඉතිරි ව නො තිබිණි.
ජලය
නොමැති ව කාන්තාරයේ සිටිනුයේ කෙසේ දැ යි මිනිස්සු තැති ගනිති; ජීවිත
ආශාව අත්හරිති. බෝසතාණෝ නායකයා වශයෙන් නො සැලෙති; පසුතැවිලි නො වෙති.
කාන්තාරයේ ඇවිද යන බෝසතාණන්ට ඊතණ ගසක් හමු වෙයි. ඊතණ ගසක් වේ නම් පොළොවෙහි ජලය
තිබිය යුතු ය යන බුද්ධිමත් උපකල්පනය නායකයා තුළ හටගනියි. මිනිසුන් යොදවා බිම හෑරීම
සිදු කැරෙයි. ගැඹුරට හාරන විට තවත් ගැටලුවක් පැන නගියි. පතුලෙහි මහ ගල් තලාවකි. ගල
යට වතුර හඬ ඇසේ. පිරිස දිරිගන්වා ගල බිඳීම සිදු වෙයි. තල් ගසක තරම් ජල කඳක් උඩට
විදින්නට වෙයි. හාරන ලද වළ ජලය පිරි පොකුණක් බවට පත් වෙයි. මිනිස්සු ජලය පානය කොට
දිය නා සතුටට පත් ව ගම්බිම් බලා යති.
බෝසතාණන්
යනු අදෘශ්‍යමාන බලවේගයක් නො ව, සාමාන්‍ය මනුෂ්‍යයකු බව වණ්ණුපථ ජාතකය අපට
හෙළි කරයි. ඔහු වෙළෙන්දෙකි. කවර මිනිසකුට වුව ද අධික වෙහෙස නිසා නින්ද යා හැකි ය.
ගොනුන් ආපසු සිටි තැනට ම පැමිණියේ නායකයා ඔවුන් නොමෙහෙයවූ බැවිනි. එය මනුෂ්‍ය
දුර්වලකමකි. කවරකු අතින් වුව ද සිදු විය හැකි ය. එම සිදුවීම් නිසා බෝසත් සාමාන්‍ය
මිනිසුන් අතර සිටින චරිතයක් බවට පත් වෙයි. මෙවන් විටෙක සාමාන්‍ය මිනිසා කළ යුත්තේ කුමක්
ද?
උට්ඨාන
වීර්යෙන් යුතු ව නැගී සිටීම යි. එවිට තමා ද තම සහායක පිරිස ද ජයග්‍රාහකයන් බවට පත්
වෙයි.
*
සූක්ෂ්ම
බුද්ධියෙන් යුත් නායකත්වය
නායකයා
අඥාන නම්,
අමන
නම්,
දුර
දක්නා නුවණ නැත්තේ නම් අභිප්‍රාය ඉටු කරගැනීමෙහි අසමත් ව කණ්ඩායම සමග විනාශයට පත්
වෙයි. සූක්ෂ්ම බුද්ධිය ඇති සහ නැති නායකයන් දෙදෙනකු පිළිබඳ කතාවක් ජාතක පොතෙහි
පළමුවැනි ජාතක කථාව වන අපණ්ණක ජාතකය ට ඇතුළත් වෙයි. බෝසතාණෝ පෙර දවස කසී රට බරණැස්
නුවර වෙළෙඳ නායකයකු ව පන්සියයක් ගැල් ගෙන වෙළෙඳාමේ ඇවිදිති. තවත් වෙළෙඳ නායකයෙක් ද
ගැල් පන්සියයක බඩු පුරවාගෙන වෙළෙඳාමේ යෙදෙයි. බෝසතාණෝ ඔහු හමු වී මෙසේ කියති.
”අප
දෙදෙනා එකවිට ම වෙළෙඳාමේ ගිය විට ලාබ අඩු වෙයි; පාඩු ද සිදු වෙයි. එක ම
පිරිසට එක ම භාණ්ඩ අලෙවි කරන බැවින් තරග කිරීමට ද සිදු වෙයි. එම නිසා අප දෙදෙනා
දෙවතාවකට යෑම සුදුසු ය. එවිට දෙදෙනාගේ ම භාණ්ඩ තරගයක් නොමැති ව අලෙවි වෙයි. ඔබ
එක්කෝ පළමු ව යන්න. නැති නම් දෙවනු ව යන්න.”
දෙවැනි
වෙළෙන්දා පළමු ව යෑමට කැමැති වෙයි. ඔහු ඒ තීරණයට එළැඹෙනුයේ තම වාසිය තකා ය. පළමුව
ගිය විට කැමැති මිලකට භාණ්ඩ අලෙවි කළ හැකි ය. කරත්ත ගොස් නැති බැවින් පාරවල් ද
නොකැඩී පවතී. ගොනුන්ට තණ කොළ ද හිඟ නො වේ. බොහෝ ලාභ ලබා ආපසු ඒමට ද පුළුවනි.
බෝසත්
වෙළෙන්දා දෙවනුව යෑමට කැමැති වෙයි. ඔහු ද එහි වාසිය දකියි. පළමු යන්නේ මං පෙත්
සාදාගෙන යා යුතු බැවින් මග යහපත් ව පවතී. ජලය සඳහා දිය පොකුණු කණින බැවින් ජල
පහසුව ද පවතී. පළමු ව ගිය ගොනුන් රළු තණ කොළ කා ඇති බැවින් ළපටි තණ කොළ වැවී පවතී.
මිනිසුන් භාණ්ඩ මිල දී ගැනීමට පුරුදු ව ඇති නිසා හොඳ මිලක් ද ලැබෙයි.
*
යකාට
හසු වන නායකත්වය
දෙවැනි
වෙළෙඳ නායකයා අලෙවි භාණ්ඩ ද මගට ආහාර ද ජලය පිරවූ හැළි ද ගැල්වල පුරවාගෙන වෙළෙඳාමේ
පිටත් වෙයි. ඔහු තම පිරිස සමග කාන්තාරයකට පිවිසෙයි. මෙම කාන්තාරයට අධිගෘහිත යක්ෂයා
පිරිස දැක ඔවුන් මරා කෑමට අදහස් කරයි. මිනිස් වෙසක් ගෙන තව මිනිසුන් දස දෙනකුත්
මවාගන්නා යක්ෂයා දිය නා එන ලෙසින් තෙත රෙදි ද තෙත කෙස් ද ඇති ව දිය බේරෙන සිරුරු
ඇති ව ගොන් කරත්තයකට නැගගනියි. මෙම පිරිස අත දුනු ඊ ඇත්තේ දඩයමේ යන ලෙසිනි. ඇඹුල
උපුල ආදි දියෙහි පිපෙන මල් ඔවුන් හිස පැලඳ ඇත. ඔවුහු නෙළුම් අල හා දඬු හැපීමෙහි ද
යෙදෙති.
දිය
කෙළියෙහි යෙදුණු මිනිස් වෙස් ගත් යක්ෂයා දෙවැනි වෙළෙඳ නායකයාගේ ගැල අසලට පැමිණෙයි.
මඩ තැවරීගත් තෙත් සිරුරු ඇතියවුන් දුටු දෙවැනි වෙළෙඳ නායකයා පුදුමයට පත් වෙයි.
”තෙමුණු
මඩ ගෑවුණු සිරුරු ඇත්තේ කෙසේ ද? ඔබ්බෙහි වැසි වසින්නේ ද? පොකුණු
දියෙන් පිරී තිබේ ද?”
දෙවැනි
වෙළෙඳ නායකයා කුතූහලයෙන් ප්‍රශ්න කරයි.
යක්ෂයා
මෙසේ කියයි:
”මිත්‍රය, අර
ඈත ඇත්තේ මහ වනාන්තරය යි. එහි නිබඳ මහ වැසි වසියි. විල් පොකුණු දියෙන් පිරී පවතී.”
යක්ෂයා
වෙළෙඳ නායකයා සමඟ ගැල් අසල ඇවිදිමින් ගැල් තුළ පුරවා ඇති භාණ්ඩ ගැන විමසන්ට විය.
ජලය පිරවූ හැළි පැටවූ ගැල් ද ඒ අතර තිබිණ. උපහාසාත්මක සිනාවක් ද පෑ යක්ෂයා මෙලෙස
කියයි:
”වෙළෙඳාම
පිණිස භාණ්ඩ රැගෙන යෑම ඉතා හොඳ යි. මෙතෙක් දුරක් වතුර හැළි රැගෙන ඒමත් හොඳ යි.
එහෙත් මෙතැනින් ඔබ්බට ජලය හැළි කුමට. මග දෙපස ජලය පිරී පවතී. ජලය ඉවත ලා හැළි හිස්
කර ගැල් සැහැල්ලු කරගෙන ගමනේ යෙදෙන්න.”
යක්ෂයා
කී බස් පිළිගත් දෙවැනි වෙළෙඳ නායකයා ජලය ඉවත ලා හැළි හිස් කරගෙන සැහැල්ලුවෙන් ගමනේ
යෙදෙයි. ඔවුනට හමු වූ වනාන්තරයක් නැති. වැහි ද නැති. විල් පොකුණු ද නැත. බැලූ බැලූ
අත පැවතියේ වැලි කාන්තාරය පමණි. මිනිස්සු පිපාසාවෙන් පීඩිත වූ හ. ඔවුහු ක්ලාන්ත වූ
හ. සිහි විසඥ වූ හ. යක්ෂයා දුර්වල මිනිසුන් පමණක් නොව ගැල් බැඳී ගොනුන් ද කාදැමුවේ
ය.
ඒ
එක් නායක ස්වරූපයකි.
*
යකාට
හසු නොවන නායකත්වය
මාස
ගණනකට පසු බෝසත් වෙළෙඳ නායකයා ද කාන්තාරය හරහා වෙළෙඳාමේ යමින් සිටියේ ය. ඔවුන් ද
කාදමන අදහසින් යක්ෂයා පෙර පරිද්දෙන් ම තෙත් සිරුරු ඇති ව ඉදිරියට ගියේ ය. තමා
ඉදිරියට පැමිණෙනුයේ යක්ෂයකු බව බෝසතාණෝ වහා වටහාගනිති. එම අවබෝධය ලැබීමට යක්ෂයාගේ
බිය සැක නැති හැසිරීම ද රතු ඇස් ද සෙවණැල්ලක් නොමැතිකම ද හේතු වෙයි. මොහු
පැමිණෙන්නේ තමාට අයහපතක් කිරීමට බව ද බෝසතාණන්ට හැෙඟයි. මේ වූකලි යමකු හඳුනාගැනීමට
නායකයකු තුළ පැවතිය යුතු ශක්තිය යි.
යක්ෂයා
පළමු වෙළෙන්දාට පැවසූ දේවල් බෝසත් වෙළෙන්දාට ද කියා යක්ෂයා ඉවතට යයි. උවදුරක ලකුණු
පහළ වූ බැවින් බෝසත් තම පිරිසගේ ද ගැල්වල ද ආරක්‍ෂාව තර කරයි. එය ද නායකත්වයේ
විශිෂ්ට ලක්ෂණයකි.
බෝධිසත්ත්වයෝ
තම පිරිස රැස් කොට මෙලෙස සාකච්ඡාවෙහි යෙදෙති.
“මෙම
කාන්තාරයේ විලක් පොකුණක් ඇති බව මීට පෙර අසා තිබේ ද?”
“නැත,” පිරිස
කියති. “නුදුරේ
වැසි වසින්නේ යැයි කියති. වැසි සුළං කොතෙක් දුරක් හමන්නේ ද?”
“යොදුනක්
තරම් දුර.”
“ඔබ
කිසිවකුගේ සිරුරට වැසි සුළං දැනුණේ ද?”
“නැත.”
“මේඝ
වලා කොතෙක් දුර පෙනෙන්නේ ද?”
“යොදුනක්.”
“කිසිවෙකු
මේඝ වලා දුටුවේ ද?”
“නැත.”
“අකුණු? විදුලිය?”
“සතර
පස් යොදුනක් දුර ඇසෙයි,
පෙනෙයි.”
“එවැන්නක්
ඇසුණා ද?
පෙනුණා
ද?”
“නැත.”
බෝසතාණෝ
මෙපරිද්දෙන් නායකයකු වශයෙන් තම පිරිස දැනුවත් කරති. යක්ෂයා කීවේ මුසා බව දැන්
පිරිස දනිති. එම නිසා ජලය ආරක්‍ෂා කොටගෙන කාන්තාරයෙන් ගමන් කිරීමේ අවශ්‍යතාව සියලු
දෙනාගේ ම තීරණය බවට පත් වෙයි. එම තීරණයට ඔවුන් එළැඹෙනුයේ අණ කිරීමෙන් හෝ විධානයෙන්
හෝ නො වේ;
සුහද
සාකච්ඡාවෙනි. පිරිස කාන්තාරයේ ගමනෙහි යෙදෙති. යක්ෂයා විසින් කාදමන ලද පෙර වෙළෙඳ
පිරිසේ හා ගවයන්ගේ ඇට කටු ද ගැල්වල භාණ්ඩ ද ඉතිරි ව පවතිනු දකිති. බෝසතුන්ගේ පිරිස
එම ගැල්වල වටිනා භාණ්ඩ ද තම ගැල්වල පටවාගෙන ගොස් බොහෝ ලාබ ලබති.
ජීවිත
රැකගැනීමටත්,
මහත්
වූ ලාබ ලැබීමටත් හේතු වූයේ විශිෂ්ට නායකත්වය යි. මෙම ගුණය වෙළෙඳාමෙහිදී පමණක් නො ව, දේශපාලනය
ඇතුළු සියලු කාර්යයන්හිදී ද අත්‍යවශ්‍ය වෙයි.
*
පරිත්‍යාගශීලීත්වයෙන්
යුත් නායකත්වය
සැබෑ
නායකයා තුළ පරිත්‍යාගශීලී බවක් දක්නට ලැබේ. එය වස්තුව සහ තනතුරු පරිත්‍යාගයක්
පමණක් නො වේ. තම පිරිසේ යහපත තකා ජීවිත පරිත්‍යාගය වුව ද සිදු කැරෙයි.
නීග්‍රෝධමිග
ජාතකයෙහි පරිත්‍යාගශීලී නායකයකු ද ආත්මාර්ථකාමී නායකයකු ද අපට හමු වේ.
බෝධිසත්ත්වයෝ එක් මුව රංචුවක නායකත්වය දරති. තවෙකෙක් වෙනත් මුව රංචුවක නායකත්වය
දරයි. රජෙක් සියලු මුවන් වට කොට අල්ලා කොටු කරගනියි. දිනකට එකා බැගින් මරා පිසින
ලෙස අරක්කැමියන්ට නියෝග කරයි. බෝසත් මුවාගේ විශේෂ ලක්‍ෂණ නිසා රජ ඔහු නොමරන ලෙස
නියම කරයි. මරණ භයින් තැතිගත් සෙසු මුවන්ට කරුණු පහදන බෝසත් මුවා සන්සුන් ව මරණයට
මුහුණ දෙන්නැ යි කියයි. රංචු දෙකෙහි ම මුවන්ට මරණයට කැප වීමේ අනුපිළිවෙළක් ද හදයි.
පැටියකු
ප්‍රසූත කිරීමට දින ආසන්න මුවදෙනක් ද මරණ වාරයට ළං වෙයි. ඈ ආත්මාර්ථකාමී නායකයාගේ
කණ්ඩායමේ එකියකි. ඈ තම නායකයාට කියනුයේ පැටියා බිහි කරන තෙක් තම මරණ වාරය කල් දමන
ලෙස ය. ආත්මාර්ථකාමී නායකයා ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. බෝසත් මුවා අයගේ දුක
හඳුනාගනියි. ඔහු ඇයගේ වාරය පැමිණි කල තමා ම ගොස් දංගෙඩියට හිස තබාගෙන සිටිනු දකින
අරක්කැමියෝ වහා රජුට දන්වති. රජු පැමිණ කරුණු විමසයි. ගැබිනි මුවදෙනගේ මරණ වාරය
කල් දැමීමට තමාට කළ හැකි වනුයේ තමා මරණයට ගොදුරු වීම බව මුව නායකයා කියයි. මුවාගේ
උදාර නායකත්වය ගැන පැහැදීමට පත් රජු සියලු සතුන්ට අභය දානය දෙයි.
යහපත්
නායකයකු සිටින කල සියලු සතුන්ට යහපත සිදු වන බව බෝසතාණන්ගේ නායකත්වයෙන් පසක් වෙයි.
*
අභියෝග
ජයගන්නා නායකත්වය
සෑම
මිනිසෙක් ම සෑම මොහොතක ම අභියෝගවලට මුහුණ දෙයි. එ නිසා සියලු නායකයන් අභියෝගවලට
මුහුණ දී තම පිරිසට ජය ලබාදීමට සූදානම් විය යුතු වෙයි. මෙහිදී නායකයා යනු දේශපාලන
නායකයන් පමණක් නො වේ. කණ්ඩායම් නායකයන් මෙන් ම පවුලක නම් ගෘහ මූලිකයා ද නායකත්වයට
හිමිකම් කියයි. නළපාන ජාතකය නායකයකු අභියෝග ජය ගන්නා අයුරු කදිමට හෙළි කරයි.
බෝසතාණෝ
වඳුරු රැළකට නායක ව වනයෙහි සැරිසරති. මීට පෙර නොගිය වනයකට පිවිසෙන නායක වඳුරා
පිරිසට මෙලෙස අවවාද කරයි: ”මේ
වනාන්තරයේ විෂ කොළ මල් පලතුරු තිබිය හැකි යි. අන්තරාකර ස්ථාන තිබිය හැකි යි.
කිසිවකු මීට පෙර නොකෑ ගෙඩි මල් කොළ අනුභව කරන්නේ නම් නුහුරු තැන්වල සැරිසරන්නේ නම්
මා විමසිය යුතු යි.”
පිරිස
සීරුවෙන් වනයේ සැරිසරති. වනය තුළ විලක් වෙයි. නායක වඳුරා විල අවට පරීක්‍ෂාවක
යෙදෙයි. දිය බීමට විලට පැමිණි සතුන්ගේ පා සලකුණු විනා පිට ව ගියවුන්ගේ පා සලකුණු
නැති බව වටහාගනියි. ඊට හේතුව විලෙහි වෙසෙන දිය රකුසකු සතුන් බිල්ලට ගැනීම විය යුතු
යැ යි නායකයා අනුමාන කරයි. ඔහු පිරිසට තම අදහස දන්වා දියට නොබසින ලෙස අවවාද කරයි.
අවශ්‍ය නම් දිය බීමට වෙනත් විලක් සොයා යා හැකි ය. එය අභියෝගය ජය ගැනීමක් නො වේ. ප්‍රශ්නය
මඟහැර විකල්පයකට යෑමකි.
අභියෝගය
ජය ගැනීමට නම් දිය රකුසා සිටියදී මෙම විලෙන් දිය පානය කළ යුතු ය. නායක වඳුරා ඒ
සඳහා උපායක් යොදයි. කැලයේ ගැට නැති බට දඬු ගෙනැවිත් විලට දමා දිය උරා බොන ලෙස
නායකයා නියම කරයි. දිය රකුසකුගේ බලය ඇත්තේ දියෙහි පමණි. ගොඩ සිටිනා අය මරා කෑමට
දිය රකුසකුට නොපිළිවන. දිය රකුසා බල රහිත ව ලජ්ජාවට පත් වෙයි.
ගැටලුවෙන්
පලා නොගොස් අභියෝග ජය ගත යුතු බව බෝසත් චරිතයෙන් අපට හෙළි වෙයි. සමාජයකට අවශ්‍ය
වනුයේ ද එවන් නායකත්වයක් බව අපට පසක් වෙයි. ද
(‘සරු
දිවියට බෝසත් වග’
කෘතියෙනි)
- See more at: http://www.namaskara.lk/?sid=article&dt=2012/06&id=2012/06/npg17_0#sthash.UtTJSDVc.dpuf
ඔවා දෙනු පර හට තමා සම්මතෙහි පිහිටා සිට
මේ ලිපියට මූලාශ්‍රය වන්නේ විනය පිටකයට අයත් පාචිත්තිය
පාළියේ භික්ඛුවිභඞ්ගයේ භික්ඛුනෝවාදවග්ගයෙහි එන ඕවාදසික්ඛාපද නම් කොටස යි.
මහාචාර්ය
සමන් චන්ද්‍ර රණසිංහ
භාග්‍යවතුන්
වහන්සේ සැවත්නුවර ජේතවනයේ අනාථපිණ්ඩිකාරාමයෙහි වැඩ වෙසෙන කල වූ සිදුවීමක් මෙය
දේශනා කිරීමට හේතු වී තිබේ. එහි භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලාට අවවාද දීම
ගැන සඳහන් වෙයි. එකල පිළිවෙතින් නොසරු ෂඩ්වර්ගීය එනම් ඡබ්බග්ගීය භික්ෂූන් වහන්සෙලා
ද අවවාද දෙන ස්වරූපයෙන් මෙහෙණන් වෙත එළඹ දහම් කථා මඳ වශයෙන් ද තිරශ්චීන කතා වැඩි
වශයෙන් ද කළ බව සඳහන් ය. බුදුන් වහන්සේ ඒ දැන ඔවුනට ගරහා භික්ඛුනෝදක බවට එනම්
අවවාද දීම සඳහා භික්ෂුවකට තිබිය යුතු සුදුසුකම් විස්තර කළහ. බුදුන් වහන්සේ වදාරන
මේ සුදුසුකම් ගිහි සමාජයට ද අදාළ ය.
අවවාද
දීමට සුදුසු පළමු කරුණ සිල්වත් බව යි. සිල්වත් බව පැවිදි වේවා, ගිහි
වේවා චරිතයක් ඔපවත් කරන භූෂණයකි. ඒ අනුව සික්ඛාපද සමාදන් ව ඒ තුළ ජීවත් වන
තැනැත්තා හෝ තැනැත්තිය ම අවවාද දීමට සුදුසු වෙයි. මේ වූකලි සීලවා ගුණය යි.
ඒ
සිල්වත් බවත් සමග තවත් ගුණයක් එකතු වෙයි. එනම් වජ්ජේසු භයදස්සාවි හෙවත් වරද
කිරීමෙහිලා බිය දකිනසුලු බව යි. යහපත් තැනැත්තා බිය වන්නේ අන් කිසිවකට නො ව, වරද
කිරීමට යි. එය කාගේ වත් අවවාදයක්, ඉල්ලීමක් නිසා වන්නක් නො ව, තමාගේ
ම අභ්‍යන්තරයෙන් එන අව්‍යාජ හඬට සවන් දීමකි. මේ වූකලි අවවාද දීමට සුදුසු චරිතයක
තිබිය යුතු දෙවන ගුණය යි.
කලින්
ද සඳහන් කළ පරිදි ශික්ෂා පදයන්හි සමාදන් වීම, ශික්ෂණය වීම එනම් හික්මීම
ද ඉතා වැදගත් ය. අනෙක් අයට හික්මෙන්නැ යි කියා කිව හැක්කේ හික්මුණු කෙනාට යි. ‘සික්ඛති
සික්ඛාපදේසු’
යනු
මෙය යි. මෙම ශික්ෂාපද ඇත්තේ වරින් වර පුනරුච්චාරණය කිරීමට වඩා ඒ තුළ ජීවත් වීමට ය.
මේ ඕවාදදායකයා තුළ තිබිය යුතු තෙවන ගුණය යි.
පංච
ශික්ෂාපද ගත හොත් ඒවා නැවත නැවතත් කීම වරදක් නො වේ. එහෙත් වඩා වැදගත් වන්නේ ඒවා
කියන අතර ම එහි අරුත ධාරණය කොටගෙන ජීවිතයෙන් ප්‍රකාශයට පත් වීමට ඉඩහැරීම ය. සතුන්
මැරීම වරදක් නම්,
ඊට
කුමන හෝ ආකාරයකින් අනුබල දීම වරදක් නම්, අප විසින් කළ යුත්තේ
සත්ත්ව ඝාතනයට තුඩුදෙන කිසිදු ක්‍රියාවක නිරත නොවීම යි. අපේ බත්පතට එකතු කරගනු ලබන
මස හෝ මාළුව ඍජු ව හෝ වක්‍ර ව ජීවිතයක් අහිමි වීමට බලපා ඇත් නම් එබඳු හිංසකත්වයට
අනුබල දෙන ආහාර වර්ජනය කිරීම ද ප්‍රථම ශික්ෂාපදය ශක්තිමත් කිරීමකි. අනෙකුත් සිල්පද
සම්බන්ධයෙන් කිව යුත්තේ ද මෙයට සමාන කරුණු ය.
අනතුරු
ව කියැවෙන්නේ අවවාද දීමට යන තැනැත්තා බහුස්සුත හෙවත් බහුශ්‍රැතයකු විය යුතු බව යි.
මෙයින් අදහස් වන්නේ උගත් කරුණු ප්‍රඥාවන්ත ලෙස සමාජගත කිරීමට දන්නා තැනැත්තා ය.
අනෙක් අයට කරුණු කියා දීමට නම් පළමුව ඒ තැනැත්තා අදාළ කරුණු මැනවින් දැන සිටිය
යුතු ය.
බහුශ්‍රැතභාවය
යනු මොනවා හෝ දැන සිටීම නො වේ. නිදසුනක් ලෙස කෙනකුට රටක ආරම්භයේ සිට මේ දක්වා වන
රාජ නාමාවලිය කටපාඩමින් කීමට හැකියාව තිබෙනවා විය හැකි ය. තව කෙනකුට තමන්ගේ රටේ
ජීවත් වන සියලු නළු-නිළියන්ගේ නම් හා ඔවුන් කෑමට කැමැති ආහාර වර්ග සියල්ල මතක
තිබෙනවා විය හැකි ය. එහෙත් එබඳු වූ මතකය කෙනකුගේ බහුශ්‍රැත භාවය හා බැඳුණු ප්‍රඥාව
හෙළි නොකරයි.
එසේ
ම සිය බහුශ්‍රැත භාවය හෙළි කරන කරුණුවල මුල ද යහපත් විය යුතු ය; මැද
ද යහපත් විය යුතු ය;
අවසානය
ද යහපත් විය යුතු ය;
පිරිසිදු
ශාසන බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරන්නක් ද විය යුතු ය. අවවාදයක් සම්බන්ධයෙන් මෙය වඩාත්
ගැළපෙයි. මේ අනුව බුදුන් වහන්සේ වදාරන බහුශ්‍රැත භාවය යනු බොහෝ දේ ඇසීම පමණක් නො
වේ. ඒ ඇසූ දේ දරාගැනීමටත් හැකි විය යුතු ය; දරාගත් දෙය වචනයෙන්
පුහුණු කිරීමටත් සිතින් කොටස් වශයෙන් ගෙන තවදුරටත් දෘෂ්ටියෙන් මනා සේ සුපිරිසිඳ
දැනීමටත් හැකි විය යුතු ය. මේ වූකලි අවවාදදායකයා තුළ තිබිය යුතු තවත් සුදුසුකමකි.
“බහුස්සුතෝ
හෝති සුතධරෝ හෝති සුතසන්නිචයෝ යේ තේ ධම්මා ආදිකල්‍යාණ - මජ්ඣේකල්‍යාණපරියෝසානකල්‍යාණා
සාත්ථං සඛ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවන්දන්ති. තථාරූ -
පාස්ස ධම්මා බහුස්සුතා හොන්ති. ධතා වචසා
පරිචිතා
මනසානුපේක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා.”
ධර්ම
කරුණු මැනවින් දැන සිටීම මෙන් ම ඒවා කොටස් වශයෙන් බෙදා විග්‍රහ කරන්නට හැකි වීම ද
භික්ෂුවක හෝ භික්ෂුණියක වෙත පමණක් නො ව, හොඳ ගිහියකු තුළ ද තිබිය
යුතු තත්ත්වයකැ යි හැඟේ. එහෙත් වඩාත් වැදගත් වන්නේ ඒ කරුණු යහපත් වචනයෙන් විස්තර
කළ හැකි වීම යි. මෙයිනික්බිති කියැවෙන ‘කල්‍යාණවාචෝ’ යන්නෙහි අදහස එය යි.
කෙනකුට අවවාද දිය යුත්තේ,
තළා
පෙළා හෙළා දැක නො ව,
ඔහු
හෝ ඇය වරදින් මුදාගැනීම පිළිබඳ වන පිවිතුරු චේතනාවෙනි. එහිදී අවවාදදායකයා විසින්
භාවිත කළ යුත්තේ යහපත් වචන යි.
අපට
වැටහී ඇති ප්‍රමාණයේ තරමට ‘කල්‍යාණවාචා’ යනු
යහපත සිදු කරනසුලු යහපත් වචන මිස ඒ වචනවල බැලූබැල්මට රැඳී ඇති මුදු බව හෝ රුදු බව
නො වේ. බුදුන් වහන්සේ ඇතැම් විට මුදු වචන ද ඇතැම් විට දැඩි වචන ද භාවිත කළ බව
සඳහන් ය. එහෙත් හැම විටෙක ම උන් වහන්සේගේ අභිප්‍රාය වී ඇත්තේ යහපත උදෙසා ක්‍රියාත්මක
වීම ය. එහෙයින් භාවිත සමාජ අර්ථයෙන් ගත් විට ඒ වචන මුදු වුවත් රුදු වූවත්, ඒ
භාවිත කෙළේ සදර්ථයෙන් නම් ඒවා ‘කල්‍යාණවාචා’ ම වෙයි. මන්ද, ඒ
වචන කරුණාමූලයෙන් පිට වූ වචන ම වූ බැවිනි.
‘පටිබල’ හෙවත්
‘ප්‍රතිබල’ යනු
අවවාද දීමට ඇති පොහොසත් භාවය යි, ශක්තිමත් භාවය යි. මෙහිදී පොහොසත් වීම යනු
ධනධාන්‍යයෙන් ආඪ්‍ය වීම නො වේ. ශක්තිමත් වීම යනු ශරීර ශක්තියෙන් යුක්ත වීම ද නො
වේ. මේ අවවාද දීම සඳහා සුදුසු ධර්මඥාන බලයකින් හා චරිත ශක්තියකින් සන්නද්ධ ව සිටීම
යි.
මෙහි
සඳහන් වන පරිදි භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූ කහවත් දරන්නියන් කෙරෙහි ගරු
ධර්මයන්ට නොඅවන් කෙනෙක්,
විසි
විය ඇත්තෙක්,
අතිරේක
විසි වයස් ඇත්තෙක්,
අවවාද
දීමට සුදුසු ය යන කරුණු අපට අපැහැදිලි ය. වැදගත් වන්නේ සීලය
නම්, ස්ත්‍රී
පුරුෂ භාවය හෝ භෞතික වයස මිනුම් දණ්ඩක් ලෙස ගැනීම යෝග්‍ය ද යන ගැටලුව අප තුළ ඇති
වෙයි. ඒ අපගේ පෘථග්ජන භාවය නිසා ඇති වන ගැටලුවක් විය හැකි ය. ඒ කෙසේ වෙතත් මෙහි
අවසන කී කරුණු පැවිදි ජීවිතය සමග කෙසේ වෙතත් ගිහි ජිවිතය සමඟ ගැළපීම නම් දුෂ්කර ය.
අපගේ
වැටහීමේ තරමට මෙලෙස විවාදාපන්න වන එක් කරුණක් ඇතත් මෙම දේශනා ධර්මයේ මුඛ්‍යාර්ථය
වන්නේ අවවාද දීමට යන තැනැත්තා ඒ සඳහා සුදුසු විය යුතු බව ය. පැරණි සිංහල කවියා, කාව්‍යමය
ආප්තෝපදේශයක් ලෙස සමාජගත කළේ ද මේ කරුණ ම ය:
“ඔවා
දෙනු පර හට –
තමා
සම්මතෙහි පිහිටා සිට”
රණස්ගල්ලේ
ස්වාමිපාදයන් ලියූ ලෝකෝපකාරයෙහි එන මේ ප්‍රකාශය පමණක් මෙහිලා උද්ධෘත කොට ගත්තේ එහි
අපර අර්ධය වන “දුසිරිත්
දනන් දෙන –
ඔවා
වැද්දන් කියන බණ වැනි”
යන
ප්‍රකාශය අතීතයට කෙසේ වෙතත් වර්තමානයට නම් නොගැළපෙන බැවිනි. මන්ද, වැදි
ජනතාව අතර සතුන් දඩයම් නොකරන, සත්ත්ව මාංස අනුභව නොකරන, සතුන්ට
ආදරය කරන චරිත අපට මුණගැසී ඇති බැවිනි. ‘බුද්ධිල ඇත්තන්’ ලෙස
ගෞතම බුදුන් වහන්සේ ගැන ඉමහත් ගෞරවයකින් කතා කරන දඹානේ වත්මන් වැදිනායක ‘වන්නිල
ඇත්තෝ’
ඉන්
එක් චරිතයකි. කොළඹ සරසවියේ ආදි විද්‍යාර්ථියකු වන වැදි සනුහරයට අයත් දඹානේ
ගුණවර්ධන නම් ගුරුවරයා - ලේඛකයා තවත් චරිතයකි. මේ අය අපට කියා සිටියේ සතුන් මරා
මරවා,
ගිනි
මැල ගසා ඒ සත්ත්ව මාංස පුච්චා, යකඩ කූරුවල දවටා අනුභව කිරීමේ කාර්යය දැන්
කරන්නේ වැද්දන් නොව නාගරික සමාජයේ සම්භාවනීය ලෙස පෙනී සිටින මිනිසුන් ම බව ය. ‘බාබක්‍යු’ යනු
ඒ මහා පාපයට දී ඇති ‘ගෞරවනීය’ නාමය
යි. එබඳු පව් කරන්නෝ අවවාද දීමට නම් සුදුසු නො වෙති.
අපි
බුදු බණ අනුව ජීවත් වන ගිහි–පැවිදි උතුමන්ගේ ම අවවාද අසමු; ඒවා
දරාගනිමු;
ඒවා
තුළ ජීවත් වෙමු.
- See more at:
http://www.namaskara.lk/?sid=article&dt=2012/06&id=2012/06/npg05_0#sthash.i5jFiqIB.dpuf
No comments:
Post a Comment